මියයනවිට අදික වේදනාවක් දැනෙනවා කියන්නේ ඇත්තද…? මෙන්න එම විශ්මිත කතාව
මියයනවිට අදික වේදනාවක් දැනෙනවා කියන්නේ ඇත්තද…? මෙන්න එම විශ්මිත කතාව
මරණය යනු අතිශය වේදනාකාරී අත්දැකීමක් බව ලෝක සම්මතයකි. එහෙත් එය හුදෙක් අනුමානයක් පමණක් බව කිව යුත්තේ මරණයට පත්වූවෙකුගෙන් ඒ පිළිබඳ විමසා බැලීමට ලොව කිසිවෙකුටත් නොහැකි බැවිනි.
මරණය වේදනාකාරී සංසිද්ධියක්ය යන අනුමානයට පිවිසීමට කරුණු කිහිපයක් පදනම් වේ. බොහෝ දෙනෙකුගේ මරණයත් සමඟ දෙනෙත් වල කළු ඉංගිරියාවන් කැරකැවී යාම, මරණයෙන් පසු බොහෝ දෙනෙකු හට මළ මුත්‍ර පහව තිබීම සහ මිය ගිය පසු මුහුණේ වේදනාත්මක ඉරියව් පළ වීම. මරණය වේදනාත්මක බව හඟවන දෘෂ්‍යමාන සාක්ෂි කිහිපයකි.
මිනිසෙකු කුමන කරුණක් මුල් කොට මිය ගියද එම මරණය සිදුවීමට හේතුවන ප්‍රධාන කාරණා 03 ක් තිබේ.
01.මොළය අක්‍රීය වීම.
02.ස්වසනය ඇන හිටීම.
03.හෘදය අකර්මන්‍ය වීම.
නිදසුනක් ලෙස කිසියම් පුද්ගලයෙකු හෘදයාබාධයකට ලක්වීම මත හෘදය අකර්මන්‍ය උවවොත් ඒ සමඟම මොළයට අම්ලකර සැපයුම ඇනහිට විනාඩි 03 ක් තුළ මොළයද අක්‍රිය වනු ඇත. එවිට මොළයද අක්‍රිය වීම මත ඒ පුද්ගලයාගේ ස්වසනය ද නතරවනු ඇත. මොළයේ සිදුවූ අසාදනයක් මුල් කොට මිය යන පුද්ගලයකුගේ මොළය අකර්මන්‍ය වූවහොත් ඉතා කෙටි වේලාවක් තුළ හෘදය වස්තුව හා ස්වසන පද්ධතිය ද අක්‍රිය වනු ඇත.
ඒ අනුව හදිසි අනතුරකින් හෝ කම්පනයකින් මොළයේ ස්නායු වලට හානි පැමිණීමෙන් දැඩි සත්කාර ඒකකයකට ඇතුල් කරන රෝගියෙකු හට නවීන යන්ත්‍රයක මාර්ගයෙන් අම්ලකර ලබා දුන හොත් ඒ පුද්ගලයාගේ මොළය මිය ගිය පසුද ශරීර යාන්ත්‍රණය කෘත්‍රිම ලෙසින් ක්‍රියාත්මක වනු ඇත. ඊට පසුව හෘදය එම කෘත්‍රිම යාන්ත්‍රණය ද ප්‍රතික්ෂේප කළහොත් එසැනින් ඒ තැනැත්තාගේ මරණය සම්පූර්ණ වනු ඇත. මෙසේ හෘදය නතරවීමෙන් සිදුවන මරණය හැඳින්වෙනුයේ සායනික මරණය
(Clinical Death) ලෙසිනි.
එහෙත් මොළය මුලුමනින් අකර්මන්‍ය කෙනෙකුට හෙවත් මස්තිස්ක මරණය ( Brain Death ) සිදුවූ කෙනෙකුට යළි කිසිසේත් නැවත ජීවිතයට පිවිසිය නොහැක.
බොහෝ විට අන්‍යයන්ට බද්ධ කිරීම සඳහා ශරීර කොටස් වෙන් කර ගනුයේ එසේ මොළය මිය ගිය තැනැත්තන්ගෙනි. මොළය මිය යාම නිසා මොවුන් හට කිසිදු වේදනාවක් නොදැනෙන බව සහතිකය. මන්ද ශරීරයේ වේදනා පාලන මධ්‍යස්ථානය මොළය වන බැවිනි.
යමෙකුගේ මරණය සිදුවන ආකාර 03 ක් තිබේ. ඉන් පළමු වැන්න රෝගී තත්ත්වයක් යටතේ සිදුවන මරණය.
මෙහිදී එම රෝගය නිසා ඒ පුද්ගලයා දරුණු කායික වේදනාවන්ට ලක් වීම වැලැක්විය නොහැක. සුවපත් කළ නොහැකි රෝගියෙකු මෙලෙස කායික වේදනාවන් වලට පත් වන අතරේ වේදනා නාශක ආදී මගින් එම වේදනාව අවම කළ හැක. මේ සඳහා වන විධිමත් ප්‍රතිකාර පද්ධතියක් ලොව පුරා ක්‍රියාත්මක වන අතර එය හැඳින්වෙනුයේ Palliative Care යනුවෙනි.
සරළ නිදසුනක් ලෙස, ශරීරය පුරා පැතිර ගත් පිළිකා තත්ත්වයක් දැක්විය හැක.
එහෙත් එම රෝගය නිසා ලබන පීඩාව හැරුණු කොට ඉහත රෝගය නිසා මොළය, ස්වසනය හෝ හෘදය අක්‍රීය වන අවස්ථාවේ එම මරණය සිදුවීම මුල්කොට සුවිශේෂ වූ වේදනාවක් ඒ පුද්ගලයාට ලැබේද යන්න පිළිබද පැහැදිළි විද්‍යාත්මක නිගමනයක් නැත. එහිදී මිය යන පුද්ගලයාගේ දෑස් එක්වරම කැරකැවී යාම හෙවත් අක්ෂි චලන වේග ( REM – rapid eye movement) වේදනාව නිසා සිදුවන්නක් බව යමෙකුට හැඟි යා හැකි වුවද මොළයේ ක්‍රියාත්මක භාවය අඩාල වීම මුල්කොට ගෙනද එවන් තත්ත්වයක් ඇති විය හැක.
නිදසුනක් ලෙස, අප නිදාගන්නා සෑම අවස්ථාවකම නින්දට පිවිසීමේදීත් නින්දෙන් පිබිදීමේදීත් අතර මැදි අවස්ථා කිහිපයකදීත් මෙම අක්ෂි චලන වේග අපට නොදැනුවත්වම ක්‍රියාත්මක වේ. එය බොහෝ විට අන්‍යයන්ට නොපෙනෙනුයේ එවිට අප දෙනෙත් පියවී තිබෙන නිසාය. එහෙත් දෙනෙත් නොපියා නිදාගන්නා අය ඉතා කලාතුරකින් දැකිය හැකි අතර ඔවුන් කෙරෙන් ද මෙම අක්ෂි චලන වේග දැක ගත හැකිය. යමෙකු ක්ලාන්තයට පත්වන අවස්ථාවේත් මෙම අක්ෂි චලන වේග ක්‍රියාත්මක වේ.
පුද්ගලයෙකු මරණයට පත්වන ඊළඟ තත්ත්වය වන්නේ ශරීරයේ කිසියම් ඉන්ද්‍රියකට ක්‍ෂණික කම්පනයක්, ආපදාවක් සිදුවීමය.
හදිසි අනතුරු, විදුලිසැර වැදීම්, හෘදයාබාධ ආදී මේ ගණයට වැටේ . මෙහිදී මෙවන් අවස්ථාවක් මුල්කොට කිසියම් කෙනෙකු තුළ දැඩි මරණ භීතියක් ඇතිවුවහොත් ඉතා කෙටි වේලාවක් තුළ ශරීරයෙන් එන්ඩොපීන් (Endorphin) නම් ජෛව රසායනිකය මුදා හැරේ.
නිදසුනක් ලෙස, පුද්ගලයෙකු වාහනයකින් ගමන් කරමින් සිටින විට තමන් ඉදිරියට වේගයෙන් එන වාහනයක් දුටු සැනින් ඒ තැනැත්තා තුළ ඇති වන බිය, කම්පනය මුල් කොට ශරීරය තුළ මෙම රසායනික ක්‍රියාවලිය ඇති වේ.
එන්ඩොපීන් යනු අපේ ශරීරය තුළින් ක්‍රියාත්මක වන ප්‍රබල වේදනා නාශක හෝමෝනයකි. සතුට දැනවීම සහ ලිංගික ආස්වාදය සඳහාද මෙම හෝමනය ක්‍රියාත්මක වේ. ඒ අනුව එවන් අනතුරකින් මිය යන පුද්ගලයාගේ ශරීරයට සිදුවී ඇති ශාරීරික හානිය අනුව ඒ තැනැත්තා අත්විදි කායික වේදනාව ගණනය කළ නොහැක. ඊට හේතුව සුළු කායික හානියක දී අත්වීඳීමට සිදුවන වේදනාවට සාපේක්ෂව බරපතල කායික හානියක දී සිදුවන වේදනාව අතිප්‍රමාණ නොවීමය.
පසුගිය කාලයේ දුම්රියක පා පුවරුවක් කඩා වැටීමෙන් එහි ගමන් කළ තරුණයෙකු මිය ගියේය. ඔහුගේ කලවා මතින් දුම්රිය ධාවනය වීම මුල්කොට මුළු සිරුර දෙකට වෙන් වී තිබුණි. එහෙත් එම සිද්ධිය මුල්කොට මර හඬින් කෑ මොර දීම වෙනුවට ඔහු අවසන් මොහොතේ එහි සිටියකුගෙන් අසා ඇත්තේ ‘මගේ කකුල් දෙකට මොනවා හරි වෙලා ද’ යනුවෙනි. එම ඛේදනීය රූපරාමු සමාජ ජාලා වෙබ් අඩවි මගින් ද ප්‍රචාරය වී තිබිණ.
මිය යන විට මළ මුත්‍ර පහවීම බොහේ විට සිදුවන්නක් වන අතර එහිදී එම තැනැත්තාගේ බහිස්‍රාවීය ග්‍රන්ථි ආශ්‍රිතව මිය යන මොහොතේ එක් රොක් වී ඇති මල මුත්‍රා ප්‍රමාණ ද ඊට බලපානු ඇත. එහිදී මරණයත් සමඟම ඒවා පිටවනුයේ වේදනාව නිසාද නැතහොත් ඒවා ශරීරය තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් මොළයේ විධානය ඉවත්වීම නිසාද යන්න පිළිබඳව මත පවතී.
මෙහිදී මරණයට පත්වන ඇතැම් පිරිමින්ගේ මළ සිරුරු වලින් ශුක්‍ර ධාතු පවා මෝචනය වී ඇති අයුරු දැක ගැනීමට පුළුවන.
ඉහත සඳහන් මල මුත්‍ර පහවීම වේදනාවක් මත සිදුවන්නේ නම් මරණයත් සමඟ ශුක්‍ර ධාතු පිටවීම මරණයේ දී ලිංගික ආශ්වාදයක් ලැබීම මත සිදුවන් බවට තර්ක කළ හැක.
නමුත් මෙහිදී සිදුවනුයේ ශරීරයේ ශුක්‍ර ධාතු තැන්පත් කොට ඇති ග්‍රන්ථි මරණයත් සමඟම කෙමෙන් සංකෝචනය වීමෙන් ඒවා පුරුෂේන්ද්‍රිය තුළ ඇති නාල ඔස්සේ පිටතට පැමිණීම පමණි. ලිංගික සුරාතාන්තයේ දී ද මෙලෙස ශුක්‍රාණු පිටතට විදීමක් සිදුවනුයේ සුරතාන්තයත් සමඟම මෙම සංකෝචනය කිහිප වරක් රිද්මයානු කූලව සිදුවන බැවිනි.
මරණයෙන් පසු පුද්ගලයන්ගේ මුහුණු වල වේදනාකාරී ඉරියව් පළ වීම මරණයන් පැය 02 කට පමණ පසු ඇතිවන මෘත කාටින්‍ය ( Rigor Mortis ) නම් තත්ත්වය නිසා ඇති වන්නකි. එහිදී සිදුවනුයේ මුහුණේ මාංශපේෂීන් තුළ සිදුවන ජෛවමය ක්‍රියාවලිය නතරවීමෙන් එහි ඇති ලිහිල් බව නැතිවී මුහුණෙහි මාංශපේෂීන් වල ඝණ බවක් ඇතිවීමය. ඒ අනුව බැලූ බැල්මට මෙය වේදනාවක් දරා හිඳින්නකුගේ මුහුණකට සමාන විය හැක.
ඒ අනුව මරණ වේදනාව යන්න නිශ්චිත වූවක්ද? සෑම පුද්ගලයෙකුටම පොදු එක සමාන අත්දැකීමක් ද? එසේත් නොමැති නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූ තත්ත්වයක්ද? එසේත් නොමැති නම් තමන් නොදැනුවත්වම සිදුවන ජීවිතය නතර වීමක්ද? යන්න පිළිබඳ පැහැදිළි නිශ්චයක් අදත් ලොව නැත.
හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය,
රත්මලාන
Post a Comment