මිලර්ටත් වඩා තමාගැන විශ්වාස කල නායකයාට, තිසර උපරිමය කර පෙන්නලා තෑගි දෙනකොට කිව්ව දේ මෙන්න VIDEO

මිලර්ටත් වඩා තමාගැන විශ්වාස කල නායකයාට, තිසර උපරිමය කර පෙන්නලා තෑගි දෙනකොට කිව්ව දේ මෙන්න VIDEO
තිසර පෙරේරාගේ වේගවත්  පිතිහරඹය සහ  අවස්ථානු කුල පන්දුයැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී  පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබීමට ලෝක කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය ලෝක කණ්ඩායම කඩුලු 3 ක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.

මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමටද ලෝක කණ්ඩායම සමත් වූයේය.

තරගය ජයගැනීම සඳහා අවසන් ඕවරයේදී ලකුණු 13 ක් රැස්කිරීමට සිදුව තිබූ අතර එම ඕවරයේ 5 වැනි පන්දුවට තිසර පෙරේරා එල්ල කල දැවැන්ත හයේ පහරින් ලෝක කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් විය. පන්දු 19 කදී දැවැන්ත හයේ පහර 5 ක් සමගින් වේගවත් ලකුණු 47 ක් රැස්කළ තිසර තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේ පන්දු යැවීමේදී ප්‍රබල පකිස්ථාන කඩුලු දෙකක්ද දවාගැනීමෙන් පසුවය.

ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් ලෝක කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. තිසර සහ අම්ලා එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 69 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ලෝක කණ්ඩායම ජයග්‍රණය කරා රැගෙන ගියහ.අවසාන පන්දුවාර කීපයේ අම්ලා පාලනය කිරීමට පකිස්ථාන පන්දු යවන්නන් සමත් වීමත් සමඟ තිසරගේ ක්‍රියාත්මක වීම පකිස්ථාන පන්දු යවන්නන්ට මෙන්ම අම්ලාටද අදහාගත නොහැකි ආකාරයේ ප්‍රහාරයක් විය.

සොහේල් ඛාන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 31 ක් ලබා සිටියදී තිසර පෙරේරා දුන් පහසු උඩ පන්දුව ලෝන්ග් ඕන්හි පන්දු රකිමින් සිටි ෂොයිබ් මලික් අතින් ගිළිහීයාම තරගයේ තීරණාත්මක සිදුවීමක් විය.

ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 23 ක් රැස්කරමින්ද, නායක ෆෆ් ඩුප්ලෙසි පන්දු 14 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 20 ක් රැස්කරමින්ද ලෝක කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.කඩුලු රකින ක්‍රීඩක ටීම් පේන් තරමක මන්දගාමී වීම නිසා ඔහුගේ දැවී යාම සමඟ ඩේවිඩ් මිලර් ,පෝල් කොලින්වුඩ් ටත් වඩා උසස් වීමක් ලැබූ තිසර තමාට පිතිකරණයේ ලබාදුන් උසස් වීමට මනා සාධාරණයක් මෙම තරඟයේදී සිදු කිරීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භක් ලබාදුන් අහමඞ් ශේෂාඞ් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය. ෆකාර් සමාන් (21) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශේෂාඞ්, ඉන් නොනැවතී බාබර් අසාම් (45) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී 59 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් විය.

පන්දු 38 කදී වාර්තා වූ බාබර් අසාම්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත වූ අතර පන්දු 13 කදී වාර්තා වූ ෆකාර් සමාන්ගේ ඉනිමට හතරේ පහර 4 ක් අතුළත් විය. පාකිස්තාන ඉනිමේ අවසන් කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ ෂොයිබ් මලික් පන්දු 23 කදී ලකුණු 39 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි.

පාකිස්තාන ඉනිමේ 19 වැනි ඕවරය යැවූ තිසර පෙරේරා එහි සිවුවැනි සහ අවසන් පන්දුවලදී ඉමාඞ් වසීම් (15) සහ නායක සෆ්රාස් අහමඞ් (00) දවාගැනීමට සමත් විය.තිසර ලෝක කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නාද වෙමින් පකිස්ථාන කඩුලු 2ක් බිඳ දැම්මේ පන්දුවාර 3 තුල පකිස්ථානයට ලකුණු 23 ක් පමණක් ලබා දෙමිනි.

කලකට පසුව පකිස්ථාන ප්‍රේක්ෂකයන්ට තම  දෑස් මානයේ සුපිරි තරඟයක් නැරඹීමට අවස්ථාව සලසා දුන් තිසරට ගඩාෆි ක්‍රීඩාංගනයේ දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්ද දක්නට ලැබිණි.

තමන්ගේ සුපිරි ප්‍රහාරකයා වන ඩේවිඩ් මිලර්ටත් වඩා තිසර කෙරෙහි ෆැට් ඩුප්ලේසි තැබූ විශ්වාසටය තිසර තම උපරිමය ලබා දුන්නේ තමා ජාත්‍යන්තර පිටියේ සිටින විශ්වාස තැබිය නොහැකි තරඟ දිනවන්නෙකු බවද පසක් කරමිනි.

No comments